Saturday, October 11, 2014

රංවල දෙවියන්

රංවල රන් දෙවියන් වූ හිඟුරල ගමේ තොටියා

කොළඹ – අවිස්සාවේල්ල මහා මාර්ගයේ පුවක්පිටිය – හිඟුරල ‘රන්දෙවි දෙවොල’ සහ ශ්‍රී මහා විහාරස්ථ රන්දෙවි දහම් පාසල වර්තමානයේ බෙහෙවින් ම අනුහස් සහිත ජන ආකර්ෂණයට ලක්වූ - චිත්ත සමාධිය වඩවන රමණීය පුද බිමකි.
මේ ස්ථානය පසු කැර ය’නෙන රියැදුරන්ගෙන් වැඩි පිරිසක් මොහොතකට මෙහි නතරවී පඬුරක් පූජා කර ටිකක් විවේකයක් ගෙන යෑම සාමාන්‍ය දෛනික සංසිද්ධියකි.
රංවල රන්දෙවි දෙවොල මෙතරම් ජන ආකර්ෂණයකට ලක්වී ඇත්තේ එම දේව ප්‍රතිමාවට ගරු සැලකිලි දක්වා පඬුරක් දමා යෑමෙන් තම ගමන නිරුපද්‍රිතව නිමා කිරීමට ‘දේව බැල්මක්’ ලැබෙන බවට ප්‍රචලිතව තිබීම වේ.
රන් දෙවියන් ලෙස වර්තමානයේදී සලකනු ලබන්නේ ඈත අතීතයේදී හිඟුරල ගම මැදින් ගලාබසිනා නදියෙහි මගීන් එගොඩ මෙගොඩ කළ තොටියෙකැයි කියනු ලැබේ.
මෙම තොටියා මිනිස්කමට එහා ගිය තරම් කාරුණික හදවතක් ඇති කෙනෙකු බව ද, ඔහුගේ මරණයෙන් පසු ගම්වාසීන් ගං ඉවුර දිගේ ‘පුහුල් පන්දම්’ වෙසෙසක් දල්වා උපහාර දැක්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔහු දේවත්වයට පත්වූ බව ද ජනප්‍රවාදයෙහි එයි.
රන්දෙවොල භූමියේ පිහිටි රන්දෙවි විහාරය සහ රන්දෙවි දහම් පාසල ප්‍රදේශවාසී උවසු උවැසියනට – දරු දැරියනට ‘දහම් පණිවුඩ’ බෙදා දෙන තෝ තැන්නක් වැන්න.
විහාරාධිපති සියනෑ - හේවාගම් හාපිටිගම් කෝරලත්‍රයේ ප්‍රධාන සංඝ නායක මාදන්වල ආනන්ද නාහිමියෝ මෙම ස්ථානයේ දියුණුවේ ප්‍රදිපස්ථම්භය වේ.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත පූජාභූමි සංවර්ධන හිටපු ඇමැති දිනේෂ් ගුණවර්ධන හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කතානායක ගීතාංජන ගුණවර්ධන යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් විහාරය සතු භූමිය පූජා භූමියක් බවට පත් කර, දෙමහල් ධාතු මන්දිරය සහිත රන් ආලේපිත රන්වැට සහිත බෝධි ප්‍රාකාරය සඟසතු කර සම්බුද්ධ ශාසනයට පූජා කැර ඇත.

                                                                      රංවල දෙවියන්

රන්වල දෙවියන් මිනිස් වෙසින් පෙනී සිටින්නේ ඇයි?
******************************************************
ගම්පහ දිසාවෙන් මතු වූ රන්වල දේව ඇදහීම ලංකාවේ සෙසු සියලුම දේව ඇදහිලිවලට වඩා සුවිශේෂත්වයක් ගන්නවාය කීවොත් එය නිවැරදියි. එයට හේතු රාශියක් තිබෙනවා. රන්වල දෙවියන් අපේ රටේ ප්‍රමුඛ පෙළේ දෙවි කෙනෙක් ලෙස සැළකෙන්නේ නැති බව ඇත්ත. රන්වල දෙවිඳුන් අයත්වන්නේ ප්‍රාදේශීය, ගම්හිමි, ගම්බාර දේවතා ගණයට. නමුත් මෙහිදී ‛ගම්බාර’ යනුවෙන් මා සඳහන් කරන්නේ ‛සුද්ධ සූනියම් ගම්බාර දෙවියන්’ නොවේ. සුද්ධ සූනියම් ගම්බාර දේව සංකල්පය දිවයිනේ බොහෝ ප්‍රදේශවල දකින්නට පුලුවන්. නමුත් රන්වල දේව ඇදහීම ගම්පහ දිස්ත්‍රික්කයට අයත් සියනෑ කෝරළේ ප්‍රදේශ කිහිපයකටත්, කොළඹ දිස්ත්‍රික්කයේ හේවාගම් කෝරළයට අයත් ප්‍රදේශ කිහිපයකටත් සීමා වූ දෙයක්. නමුත් මේ ප්‍රාදේශීය දෙවියා පිළිබඳ විශ්වාසය වර්තමානය වනවිට ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙනවා. එයට හේතුව මාර්ග අංක ඒ 4 (A4) ට අයත් කොළඹ - රත්නපුර මහා මාර්ගය අබියස ඇති ‛පහන ළඟ දෙවොල’ විය හැකි බවයි අපට ආසන්න වශයෙන් නිගමනය කළ හැක්කේ. නමුත් ඒ 3 (A3) කොළඹ - පුත්තලම ප්‍රධාන මාර්ගය අද්දරත් මෙවැනි ප්‍රදේශීය දෙවිකෙනෙකුගේ දේවාලයක් තිබෙනවා. ඒ තමයි හලාවතට නුදුරු මාදම්පේ ප්‍රදේශයේ පිහිටි ‛තනිවැල්ලේ දේවාලය’. මෙහි ඇදහෙන්නේ කෝට්ටේ යුගයේ අප රටේ ප්‍රාදේශීය පාලකයකුව සිටි ‛තනිය වල්ලභ’ කුමාරයායි. නමුත් ප්‍රධාන පාරක් අද්දර පිහිටි නිසාම තනිවැල්ලේ දෙවියන් පිළිබඳ විශ්වාසය රන්වල දේව විශ්වාසය තරම් ප්‍රබල ලෙස පැතිර ගොස් නැහැ. රන්වල දෙවියන් සහ තනිවැල්ලේ දෙවියන් අප රටේ කිසියම් කාලයක ජීවත් වූ සැබෑ චරිත දෙකක්. තනිවැල්ලේ දෙවියන් කෝට්ටේ යුගයේ ජීවත් වූ ප්‍රාදේශීය නරපතියකු වගේම රන්වල දෙවියන් ඊට පසු යුගයක ජීවත් වූ සාමාන්‍ය ගැමියෙක්. නමුත් මේ දෙදෙනාම ‛මුත්තා’ යන නමින් හැඳින්වෙනවා. රන්වල දෙවියන් ‛රන්වල මුත්තා’ යනුවෙනුත් තනිවැල්ලේ දෙවියන් ‛තනිවැල්ලේ මුත්තා ’ යනුවෙනුත් හැඳින්වෙනවා.

1 comment: