වීරමුණ්ඩ දෙවියන්.
උඩුගම්පොළ සකලකලාවල්ලභ රජුගේ වැඩිමහල් පුත් ‛මැණික්සාමි’ හෙවත් ‛කලු කුමාරයා’ පිය රජතුමා මැරීමට පොකුණේ උල් සිටවූ කතාවත්, ඒ කුමන්ත්‍රණය පිය රජතුමාට හෙළි වූ පසු තමන්ගේ හිතෛෂිවන්ත ඇමතිවරයකු වූ ‛වීරා’ නමැත්තෙක් සමග සිරිපා අඩවියට පළාගිය කතාවත්, එහි ජීවත්වීමට නොහැකිව කුණුදිය පර්වතයෙන් පැන දිවි නසාගත් කතාවත් දැන් අපි දන්නවා. ඊට පසුව මේ ‛කලුකුමාරයා’ සහ ඔහුගේ සමීපතම ‛වීරා’ දේවත්වයට පත් වූ බවත් ප්‍රකට කරුණක්.
‛කලුකුමාර දේව කන්නලව්වේ’ වීරා හැඳින්වෙන්නේ ‛සලු අපුල්ලන ඇමැත්තෙක්’ ලෙසයි. මෙය ඉතා වැදගත් සඳහනක්. ඊට හේතුව කලුකුමාරයාගේ මව, නොඑසේ නම් සකලකලාවල්ලභ රජුගේ බිසව රජක කුල කාන්තාවක් බව ඉන් මනාව තහවුරු වන නිසයි. කලුකුමාර දේව යාදින්නේ සඳහන් වන්නේ “ඔබ වහන්සේ සකලකලාවල්ලකබාහු රජුගේ කුමාරයා බව සත්ත නම් පිය රජ්ජුරුවන්ට හදිකම් කරවා පතහේ උල් සිටුවලා සලු අපුල්ලන ඇමැත්තෙක් එක්ක හිමේ හත්ගව්ව බලා වදාරලා කුණුදිය පර්වතයේ පල්ලේ පැන මිය යක් වී වදාරලා” ආදී වශයෙන්. කෙසේ හෝ පසුව කලු කුමාරයා දේවත්වයට පත්වීමත් සමඟ වීරාත් දේවත්වයට පත්කිරීම පිළිබඳ ජනතාව අතර දෙගෙඩියාවක් තිබූ බවත් පැවසෙනවා. ඒ අනුව සමහරෙකු වීරාට දේවත්වයක් ආරෝ්පණය කරන්නට යන බව දැනගත් තවත් පිරිස් එය විවේචනය කොට ඇත්තේ “වීරාත් මුන්ට (මුණ්ඩ) දෙවියෙක් ද?” කියායි. කෙසේ හෝ ඒ නිසාම ඔහු ‛වීරමුණ්ඩ’ යනුවෙන් දේවත්වයට පත් වූ බව සඳහන්. නමුත් අපේ රටේ වීරමුණ්ඩ දේව සංකල්පය ගැන විමසීමේදී මෙය වීරමුණ්ඩ දෙවියන් පිළිබඳ එක් ප්‍රවාදයක් විතරයි.
අපේ රටේ උඩරට ප්‍රදේශවල ප්‍රචලිත වීරමුණ්ඩ දේව ඇදහිල්ලේදී සඳහන් වන්නේ ඔහු ඉන්දියානු සම්භවයක අයකු බවයි. ඉන්දියාවේ මලල රජුගේ පුත් කුමරුවන් තිදෙනාගෙන් වීරමුණ්ඩ කුමරා එක් අයෙක්. එම වෘතාන්තයේ සඳහන් අන්දමට අතිශය හිතුවක්කාරකම් පෑම නිසා මෙම කුමරුන්ට එරෙහිව රටවැසියන් උද්ඝෝෂණයක යෙදෙනවා. මේ නිසා තම රජකමවත් බේරාගන්නට නොහැකි තැන පිය රජතුමා කරන්නේ අත්තික්කා ලීයෙන් තැනූ යාත්‍රාවක මොවුන් නංවා රටින් පිටුවහල් කිරීමයි. ඉන් පසු මේ කුමරුවන් තිදෙනා සහිත යාත්‍රාව ලක්දිව වෙරළට ගසාගෙන විත් තිබෙනවා. මෙම යාත්‍රාව මුලින් දෙවුන්දර තුඩුවට පැමිණි විට මෙහි ජනතාව මොවුන්ගේ ගොඩබෑම ගැන අකැමැත්ත පළකොට තිබෙනවා. එහිදී ඒ කුමාරවරු තමන්ගේ බල පෙන්වා කතරගමට ගොස් මේ කුමාරවරු තුන්දෙනාගෙන් වීරමුණ්ඩ කුමාරයා සිය කඩුවෙන් එහි තිබූ දැවැන්ත වීරගසක් එක්වරම දෙපලු කොට තිබෙනවා. ඒ නිසා ඔහු ‛වීරමුණ්ඩ’ නමින් හැඳින්වූ බව පැරණි යාදිනිවල සඳහන්. ඉන්පසුව ඒ කුමරා කළ සමත් කම් පිළිබඳව සඳහන්වන්නේ ‛ඊරියම යක්ෂයාට කොටා ඊරිය ගහ කප්පවා එම නින්දගමට අරක්ගෙන නවගොමුවට වැඩමවා වදාරා පත්තිනි දෙවියන්ගේ හළඹවල හඬ නවත්වා විල්බාවට වැඩමකර තල් ගස් දෙකක් බාන් අඹරවා පෙන්නාලා කුරුණෑගලට වැඩම කොට වත්හිමි කුමරා ගල පල්ලේ එළා මරා’ ආදී වශයෙන්. මෙහි ඇති විශේෂම දෙය වන්නේ කලුකුමාර දේව කන්නලව්වේ ද එවැනිම දෙයක් සඳහන් වීමයි. “මෙරට මහත් දෙවියන්ට තෙද කීර්තියක් පාගෙන ඊරියගමට වැඩම කර වදාරා ඊරියගම යක්ෂයාට කොටා ඊරියගම මලුවේ තල් ගස් දෙකක් ලණු අඹරවාපු තෙද කීර්තියක් පාගෙන” යයි එහි සඳහන්. කලුකුමාර දේව කන්නලව්වේත්, වීරමුණ්ඩ දේව කන්නලව්වේත් මෙම ඊරියගම පිළිබඳ කතාව සඳහන්. මෙතැනදී අපට මේ සිදුවීම් දෙක එකතු කරන්නට හැකියි.
වීරමුණ්ඩ දෙවියන් කතරගමදී වීර ගහක් දෙපලු කොට හාස්කම් පෑ කතාවට සමාන තවත් ජනප්‍රවාදයක් අසන්නට තිබෙනවා. ඒ මහනුවර යුගයේ විසූ, වස් කවි නිසා මුලු රටේම ප්‍රසිද්ධියක් ලත් කුංකුනාවේ හාමුදුරුවන් සම්බන්ධ පුවතක්. මහනුවර යුගයේදී ශ්‍රී දළදා මාළිගාව අද්දර තිබූ නාථ දේවාලයේ වහල උඩට විශාල බෝධි වෘක්ෂයක අත්තක් නැවී තිබුණා. මෙය බොහෝ දෙනාට ගැටලුවක් වුණත් මේ බෝ අත්ත කපා ඉවත් කිරීමට කිසිවකුත් ඉදිරිපත් වුණේ නැහැ. අවසානයේ මෙය කන්ද උඩරට රජකම් කළ රාජාධි රාජසිංහ රජුට පවා ප්‍රශ්නයක් වී තිබුණා. මේ අතරවාරයේදී මේ ගැටලුවට වස් කවියකින් විසඳුම් ලබා දෙන්නට කුංකුනාවේ හිමියන් ඉදිරිපත් වුණා. එහිදී උන්වහන්සේ ඒ ස්ථානයේ සිට කිවූ වස් කවියයි මේ.
‛රම්රද විමන බෝ අත්තෙන් වැසී ගියා
පව්කළ උළු සෙවිලි වහලය දිරා ගියා
අන් බසකට නොනැමෙන ගෝර චණ්ඩියා
සුන්කර හරිව් තෙදබල වීරමුණ්ඩියා”
පව්කළ උළු සෙවිලි වහලය දිරා ගියා
අන් බසකට නොනැමෙන ගෝර චණ්ඩියා
සුන්කර හරිව් තෙදබල වීරමුණ්ඩියා”
මින් හැඟවෙන්නේ ඒ බෝ අත්ත ඉවත් කරන ලෙස යක්ෂ සම්භවයක් ඇති වීරමුණ්ඩ දෙවියන්ගෙන් ඉල්ලීමක් කළ බවයි. කෙසේ හෝ මේ කවිය කියා අවසන් වනවාත් සමඟම විශාල සුළඟක් විත් ඒ බෝ අත්ත ගසෙන් ඉවත් වී උඩවත්ත කැලේටම ගසාගෙන ගිය බවයි ජනප්‍රවාදයේ දැක්වෙන්නේ.
උඩුගම්පොළින් මතුවුණු වීරමුණ්ඩ හැඳින්වෙන්නේ රජක කුලයට අයත් කෙනෙක් හැටියටයි. එහෙත් උඩරට ඇති වීරමුණ්ඩ සංකල්පයේදී ඉතාම කුලවත් දෙවි කෙනෙක් හැටියටයි වීරමුණ්ඩව හැඳින්වෙන්නේ. එහි අදහන ‛දොලහ දෙවියන්ටත්’ වඩා කුලවත් නිසා අඩුක්කු පිදීමේදී වීරමුණ්ඩ දෙවියන්ට මල් යහන් පිළියෙල කරන්නේ අනෙක් දෙවියන්ට වඩා උසස් අයුරිනුයි. විශේෂයෙන් කොහොඹා කංකාරියේ එන ‛ගුරුගේ මාලාව’ තුළ කලුකුමාර දෙවියන් සමඟම වීරමුණ්ඩටත් පුද පූජා පැවැත්වෙනවා. එබැවින් මේ වීරමුණ්ඩ දේව සංකල්පය සකලකලාවල්ලභ රජු සමයේ කලුකුමාරයා සමඟ රාජධානියෙන් පැනගොස් දිවි නසාගත් කලුකුමාරයාගේ සමීපතමයා ඇසුරින් පමණක් ඇතිවූවක් නොවන බවයි කිවහැක්කේ.
දැනට ලංකාවේ වීරමුණ්ඩ දේවාල දක්නට ඇත්තේ ඉතාම අල්ප වශයෙන්. නමුත් ගම්පහ දිස්ත්‍රික්කයේ පවතින ප්‍රධානම දේවාලයක් තමයි රාගම වල්පොල කදුරුගහ වැව අද්දර තිබෙන වීරමුණ්ඩ දේවාලය. මේ දේවාලය සම්බන්ධව ප්‍රවාදයක් ප්‍රචලිත වී තිබෙනවා. ඒ අනුව ඒ අනුව අතීතයේ යම් කාලයක මේ වැව ගොඩනැංවීමේදී නැතහොත් ප්‍රතිසංස්කරණයකදී ඊට යම් යම් බාධා පැමිණ තිබෙනවා. එවිට මෙයට සම්බන්ධ ගම් ප්‍රධානියෙකුට යම් පුද්ගලයකු සිහිනෙන් පෙනී සිට මෙසේ පවසා තිබෙනවා. “මා වෙනුවෙන් පහනක් දල්වනවා නම් වැව ගොඩනැගීමට කිසිදු ගැටලුවක් ඇතිවන්නේ නැහැ.” ඒ නිසා ඒ ගම්පතියාගේ කීම අනුව ගම්මුන් එතැන පොඩි සංහිඳක් පිළියෙල කොට පහනක් දල්වා වැව තැනීමට පටන් ගන්නවා. එහිදී ඉතාම හොඳින් වැව ගොඩනැංවීමේ වැඩකටයුතු සිදු වෙනවා. එසේ සිහිනෙන් පෙනී සිටි පුද්ගලයා වීරමුණ්ඩ දෙවියන් බව පසුව ගම්මුන් වටහා ගන්නවා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි වල්පොල වැව අසළ වීරමුණ්ඩ දේවාලයක් ඉදි කෙරෙන්නේ. මේ පහන් දැල්වීම සංකේතනය කරන්නට අදත් මේ දේවාලය ඉදිරිපිට මහ මග අද්දර පහනක් දැල්වීම සිදුකෙරෙනවා. ඒ පහන දැල්වීමෙන් පමණක් වුවත් වීරමුණ්ඩ දෙවියන්ගේ පිහිට ලබාගත හැකි බවට පැරණි ගැමියන් තුළ විශ්වාසයක් පැවැතී තිබෙනවා. මෙයට අමතරව මේ සම්බන්ධව වෙනත් ජනප්‍රවාද සොයාගන්නට ලැබුණේ නැහැ.
මේ දේවාලයට තරමක් නුදුරින් රාගම වල්පොල ශ්‍රී විමලරත්නාරාම විහාරය පිහිටා තිබෙනවා. එහි වැඩසිටි පූජ්‍ය හතර ලියැද්දේ සීලරතන ස්වාමීන් වහන්සේ 1928 අවුරුද්දේ පොසොන් පෝය දවසේ පුංචි දරුවන් කිහිප දෙනක් එකතු කරගෙන පොසොන් පොහොය වෙනුවෙන් මල් පෙරහරක් සංවිධානය කොට තිබෙනවා. අද වන විට මෙය ලංකාවේ අති විශිෂ්ටතම පොසොන් පෙරහරක් බවට පත්ව තිබෙනවා. උඩරට පහතරට නැටුම්වලට අමතරව විශිෂ්ටතම ගිනිකෙළි සංදර්ශනත් මෙහිදී දැක ගන්නටත් පුලුවන්. මේ පොසොන් පෙරහර ගමන් කරන්නේත්, වැව සහ වීරමුණ්ඩ දේවාලය අතරින් වැටීගත් මාවතේ.
ගම්පහ දිසාවේ සියනෑ කෝරලේ සිංහල අලුත් අවුරුද්දට පෙරාතුව පවත්වන ‛යකුන් පිදීම’ නම් අලුත් සහල් මංගල්‍යයේදී ‛තුන්කට්ටුව’ නමින් හැඳින්වෙන දෙවිවරුන් අතරට මේ වීරමුණ්ඩ දෙවියන් ද එකතු කොට තිබෙනවා. තුන් කට්ටුව යනුවෙන් හැඳින්වෙන දෙවිවරුන්ට අයත්වන්නේ දුනුමාලේ, කලුකුමාර සහ වීරමුණ්ඩ යන දෙවිවරුන්. යකුන් පිදීමේ යාතිකාව ආරම්භ වන්නේ, “පස්වාන් දහසක් පස්වාන් දහසක් පස්වාන් දහසක් සිද්ධමූල කලුකුමාර වීරමුණ්ඩ දේවතාවා’ යන ආකාරයෙන්. මෙයින් පෙනෙන්නේ ලංකාවේ සෙසු ප්‍රදේශවල ජනතාව කෙසේ වෙතත් ගම්පහ ප්‍රදේශයේ ජනතාව කලුකුමාරයාගේ සගයා වන වීරමුණ්ඩ දෙවියන් මුළුමනින්ම අමතක කොට නැති බවයි.
උපුටාගැනිමකි.
චායාරුපය- වල්පොල පුරාණ වීරමුණ්ඩ දේවාල
No comments:
Post a Comment